Your cart is empty now.
Skylight ( පියැසි කවුළුව) යනු 1998 වසරේ නෝබල් සාහිත්ය සම්මානයෙන් පිදුම් ලැබු පෘතුගීසි භාෂාවෙන් සාහිත්ය කරණයේ යෙදුණු ජොසේ සරමාගෝ විසින් රචිත කෘතියකි. එහි විශේෂ ලක්ෂණය වන්නේ ඒ කෘතිය ඔහු ලියා ප්රකාශකයකු වෙත යවා ඇත්තේ 1953 වසරේ දී වන නමුත්, එය සාහිත්ය කෘතියක් ලෙස පාඨකයා අතට පත්වෙන්නේ 2011 වසරේ, ඔහුගේ මරණින් පසුව ද වසරක් ගෙවුණු කාලවකවානුවක දී ය. වසර තිස් ගණනක් ගෙවෙන තුරුම, ජෝසේ සරමාගෝ විසින් තම අත්පිටපත භාරදුන් ප්රකාශකයා විසින් එය කෘතියක් ලෙස ප්රකාශයට පත් නොකළා පමණක් නොව ඔවුන් එය ප්රතික්ෂේප වී යැයි දන්වමින් ඒ අත්පිටපත නැවත බාර දුන්නේ ද නැත. ඒ ගෙවුණු වසර ගණනාව පුරාම තරුණ සරමාගෝ ගෙවා ඇත්තේ තමන්ගේ අත්පිටපත අහිමි වීමේ සහ එය ප්රකාශයට පත් කළ නොහැකි වීමේ සිත් තැවුලෙන් පීඩා විඳිමිනි.
ප්රකාශකයාගේ ඒ දීර්ඝකාලීන නිහැඬියාවට පියසි කවුළුව කෘතියේ අන්තර්ගතයත් හේතු වන්නට ඇත. 1940 ගණන්වල පෘතුගාලයේ ලිස්බන් නුවර තට්ටු නිවාසයක, ජීවත් වෙනවාම නොව ජීවත් වීමට පොර බදන පවුල් හයකගේ ජීවන අන්දරය මේ කෘතියට පාදක වී ඇත. ජීවිතයේ අතෘප්තිය, ආර්ථික අගහිගකම්, අනාගතය පිළිබඳ ඇති බිය ඒ සියලු නිවැසියන් සතු පොදු ලක්ෂණ වලින් කිහිපයකි. එමෙන්ම සරමාගෝ, ඒ පරිපීඩිත ජීවිතවල දුක්ඛදෝමනස්සයන් තුළින් ඒ කාලවකවානුවේ කිසිදු ලේඛකයෙකු විසින් අතනොතබන තරමේ සමාජ අපවදායන් ලෙස අඳුරේ පසෙකට ලා තැබූ වෛවාහික ලිංගික බලහත්කාරය, සමරිසි ලිංගික සබදකම්, ගෘහස්තඅපයෝජනය, ගණිකා වෘත්තිය වැනි ජීවන දහරාවන් වෙත නොබියව ආලෝක කදම්බයක් පතිත කරවයි.