Your cart is empty now.
දැන් දම් පාට මල් ගහේ මල් පිපෙන්නේ නැහැ. තිබුණ අන්තිම මලත් හුළඟේ පා කරලා යවලා හුඟ දවසක ඉඳන් ගහ අහක බලාගෙන ඉන්නවා. මම තාම උයන අද්දරින් හැමදාම යනවා. ඒත් මම දැන් දම් පාට මල් ගහ දිහා බලන්නෙවත් නැහැ. ඒ ගහ මලින් පිරීලා තියෙනවා, මම හිතෙන් මවාගත්තද කියලත් වෙලාවකට මට හිතෙනවා. ඒ ගහ යට ඇස් වලින් ඇස්වලට උතුරපු ආදරේ තිබුණා වෙන්න බැහැ කියලත් මට හිතෙනවා. ඒත් සමහරදාට මට හීනෙන් මල් පිරුණු දම් පාට මල් ගහ පේනවා. සීතල මැද්දේ, රස්නේ මැද්දේ හැම ඍතුවේම මල් පිරිලා තිබුණ හැටි මතක් වෙනවා. දුකක් ඉතිරි කරලා මැකිලා ගිය හිනාවල් මතක් වෙනවා. ඒත් එක්කම මට හිතෙනවා එක කාලයක් මල් පිරිලා තිබුණු නිසා ආයෙත් දම් පාට මල් ගහේ මල් නොපිපුණත් කමක් නැහැ කියලාත්.