Your cart is empty now.
ජාත්යන්තර වශයෙන් මානවවිද්යා හා සමාජවිද්යා ක්ෂේත්රවල න්යායික සහ ක්රමවේදී අභිවර්ධනය කෙරෙහි ඉමහත් බලපෑමක් කළ ඇමරිකා එක්සත් ජනපදයේ ප්රින්ස්ටන් විශ්වවිද්යාලයේ මානවවිද්යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවර්ය ගණනාත් ඔබේසේකරගේ ශාස්ත්රීය සම්ප්රදානය උදෙසා කෘතගුණ දැක්වනු වස් මෙවර විදර්ශන විශේෂ කලාපය වෙන් වේ.
ශ්රී ලාංකේය යටත්විජිත උරුමයේ බුද්ධිමය පරමාදර්ශයක් ලෙස නිසැකවම සැලකිය හැකි මහාචාර්ය ඔබේසේකර සත් දශකයකට අධික කාලයක් පුරා කළ ශාස්ත්රීය පර්යේෂණ යටත්විජිත දැනුම් ප්රසම්පාදන ක්රියාවලියේ දේශපාලනය විසංයෝජනය කිරීමට සමත් වූ බව අපි දනිමු. එකී ස්වාධීන බුද්ධිමය ව්යායාමය මානවවිද්යාව, මනෝවිශ්ලේෂණය, ඉතිහාසය සහ සංස්කෘතික අධ්යයන යන විෂය ක්ෂේත්රවල අධිපති න්යායික ස්ථාවර ප්රශ්න කිරීමටත්, ක්රමවේදීය සීමා අතික්රමණය කිරීමටත්, ශාස්ත්රාලීය පර්යේෂණවල අර්ථකථනාත්මක වටිනාකම සහ ආචාරධාර්මික වගකීම අවධාරණය කිරීමටත් සමත් විය.
මහාචාර්ය ඔබේසේකර වර්ධනය කළ එකී ස්වාධීන චින්තනයේ සහ ශාස්ත්රීය සුක්ෂ්මාත්මතාවේ ආභාසය ලැබූ ඔහුගේ ශිෂ්ය ශිෂ්යාවන්, සමකාලීනයන් සහ දෙස් විදෙස් විද්වතුන් විසින් රචිත ලිපි ඇතුළත් මෙවර විදර්ශන විශේෂ කලාපය මහාචාර්ය ඔබේසේකරගේ බුද්ධිමය උරුමයේ ගැඹුර, පසුබිම සහ එහි සමකාලීන අදාළත්වය පිළිබඳව කෙරෙන සාමූහික ප්රත්යවලෝකනයක් ලෙස සැලකිය හැකිය.