Your cart is empty now.
ආරියරත්න ජයසිංහ කවියා මේ පවසන්නේ, සම්මත පැනැවීම ඇසුරෙහි දක්නා ලොව, දහසක් සම්මුතීන්ගෙන් විසාර වූවක් බවයි. සාදා නිමකළ ආකෘතීන්ගෙන් විමුක්ත වූ කල, අභිනව විවෘත භාවයකින් ලොව දැකිය හැකි යැයි අගවන නිමැවුමකි මේ. උක්ත නිර්මාණ සමූහයේ කතුවරයාගේ අවලෝකනයද මෙමගින් ගම්‍යමාන වේ.
සැබැවින්ම 'කාව්‍ය' හෝ 'කාව්‍ය නොවන' යනුවෙන් කිසිවක් නැත. කවියෙකු තමා හට ගෝචර වූ යමක්, වෙන්විතව ප්‍රකාශ කිරීමට දරන යත්තයට සාපේක්ෂව කවිය පහළ වෙයි. මේ බව පසක් කළ අභ්‍යාසලාභී කවියෙකු වන ආරියරත්න ජයසිංහයෝ, කවියේ ස්වභාවය වටහාගනු පිණිස විවිධ සෙවුම් බැඳුම්හි නියැළෙන නිතඩ විමර්ශකයෙක්ද වෙති.
කවියෙහිදී, නිර්මාපකයාගේ අදහස්, ප්රකාශනාත්මක වාගාලාප, ප්‍රතිකථන ආකාරයෙන් මුදා, බහුවිධ ආවේග ධාරා මතු කරන පද සංඝටනාවක් බවට පත්කිරීම් වෙනුවෙන්ද ජයසිංහ කවියා වෙහෙසෙනු පෙනෙයි. මේ මොහොතේ ආකර්ෂණීය, අනුවේදනීය හා ජනප්‍රිය දේ වෙත කෘත්‍රිම ලෙස මැදිහත්වීම වෙනුවට, අප කවියා, පවසන ආකාරය පිළිබඳ වගකීමකින් කටයුතු කරන අයුරු මෙහි එන සරු නිමැවුම් කෙරෙන් දැක්ක හැකිය.
පූර්වගාමීන්ගේ කාව්‍ය විලාස විමසමින්, තමාටම ස්වාධීන වූ මහක් කෙරෙහි සාවධාන වන ජයසිංහ කවියා, වයසින්ද මුහුකුරා යමින්, විශිෂ්ට නිර්මාණ කවරේදැයි පෙරට වැඩි ගැඹුරකින් හඳුනා ගනිමින් සිටිනුද හැගෙයි. තම කවි දෙස යළි යළිත් ආපසු හැරී බැලීමේ අභ්‍යාසය සහිතඔහුගේ මේ නිර්මාණ සංග්‍රහය අප කාගේත් නොමඳ විමැසුමට හසු වේවායිද ප්‍රාර්ථනය කරමි.
නන්දන වීරසිංහ